කුවීන්ස් උද්‍යානයේ අභිරහස් මරණය.✍️✍️🧐
කුවීන්ස් උද්‍යානයේ අභිරහස් මරණය.
වෙලාව පාන්දර තුන හමාරයි. රහස් පරීක්ෂක ඩන්ස්ටන් ඇඳෙ වැතිරී සිටිමුත් නින්දයන පාටක්නම් නැත. ඇඳේ එහාට මෙහාට පෙරලෙමින් සිටියේ උදේ දහයයි තිහේ මගී නවුකාවේ ,සෞත්ඇම්ප්ටොන් වරායට ගොඩබසින තම දියනිය දැකගැනීමේ දැඩි අස්සාව නිසාය. ඇඳෙන් නැගිටි ඩන්ස්ටන් තම පාවහන් යුගල පැලදගනිමින් හාන්සිපුටුවෙහි වාඩිවූයේ එලිය වැටෙන තුරු කාලය ගතකරගන්නේ කෙසේද යන්න කල්පනා කරමිනි. හාන්සිපුටුවෙහි වාඩිවී කකුලක් උඩ කකුලක් දමාගනිමින් අසල වූ ටීපෝව මත ඔහුගේ දිනපොත උඩන් තබාතිබූ දුම් පයිප්පය ගෙන දුම් කුඩු ටිකක් දමාගනිමින් දල්වාගත් ඩන්ස්ටන් සිවිලිම දෙස ඇස් යොමු කරමින් හාන්සිවී දුම් බොන්නට පටන් ගත්තේ සිවිලිමේ සිටි කුඩා කෘමියෙක් එහි වූ මකුළු දැලකට පැටලී මිදීයාමට් පොරකන සැටි නිරීක්ෂණය කරමිනි. මදකින් සිවිලීමෙහි වූ කුඩා සිදුරකින් එලියට පැමුනි හූනෙකු දැලේ පැටලුනු කෘමියාට කුරුමානම් අල්ලනු ඩන්ස්ටන් දුටුවේය. වැඩි වේලා නොගත් හූන එක්වර පැන කෘමියව තම ගොදුරක් බවට පත්කර ගත්තේ ඩන්ස්ටන් ඇදි දුම පිට කිරීමටවත් ඉඩ නොදීය.
සීත කාලය අරම්භ වෙමින් පැවති හෙයින් ටික වේලාවක් හාන්සිපුටුවෙහි වැතිර සිටි ඩන්ස්ටන් සඳලුතලය වෙත ගියේ මෙවර සීත සෘතුවේ පලමු හිම පතනය දැකගැනීමේ අදහසිනි. මාර්ගය දෙපස දල්වාතිබූ විදුලි පහන් වලින් නිකුත්වන අලෝකය හේතුවෙන් හිම වැටෙන අයුරු ඔහුට පැහැදිලිව නිරීක්ෂණය වූයේ සුදු පැහැයෙන් පුලුන් වර්ෂාවක් පැමින ගස්වල අතුපතර සහ තණ බිස්ස මත සීරුවට තැන්පත් වෙන්නාසේය. මේ මනරම් දර්ශනය ඔහුට අලුත් අදැකීමක් නොවූවත් ඉතා සෞම්‍ය හැගීමක් සිත තුල ජනිත කලේය.
මඳ වේලාවක් මෙම දර්ශනය දෙස ඇසිපිය නොහෙලාම බලාසිටි ඩන්ස්ටන් නැවතත් තම නිඳන කාමරය තුලට යෑමට තීරණය කලේ වැඩි වේලාවක් එලියේ රැදීසිටීම නිසා කාබායක් හෝ අත්වැස්මක් පැලද නොසිටිහෙයින් දැනුනු දැඩි සීතල සහ ඇගිලි කෙලවර පුපුරුගැසීමට ආරම්භ වීමත් නිසාය.
දුම්පයිප්පෙන් දුම් උගුරක් ඇදි ඩන්ස්ටන් වෙව්ලමින් තම නිඳන කාමරය තුලට ඇතුල්වී සඳලුතලයට විවෘත වන දොර වසාදැමුවේ යමකට බයවී සැගවීමට තැත්කරන කුඩා දරුවෙකු ලෙසිනි.
නැවතත් ඇඳමත වැතිරුනු ඩන්ස්ටන් දුම් පයිප්පය ඇඳ අසලවූ කුඩා මේසය මත තබා බ්ලැන්කට්ටුව පොරවගනිමින් උනුසුම් වන්නට තැත්කලේ කොටියෙකු හට
බියවූ හාපැටියෙක් මෙනි. ටික වේලවකින් නොදැනීම නින්දට වැටුනු ඩන්ස්ටන් නැවත ඇහැරෙන විට උදේ හය පසුවී තිබුණි.
තම රාජකාරි ස්ථානයට යෑමට ප්‍රමාද වූ සේවකයෙක් මෙන් ඇදෙන් නැගිටි ඩන්ස්ටන් මුහුන කට සෝදා තම කබාය සහ හිස්වැසුම ලාගනිමින් එලියට බැස ඔක්ස්ෆර්ඩ් වීදිය දීගේ පියමැන්නේ සෞත්ඇම්ප්ටොන් වරාය දෙසටය කල්තියාම සේන්දුවීමේ අදහසිනි. එදින පාන්දර වැටුනු හිමකැට නිසාසවෙන් මුලු පරිසරයම ශ්වේත වර්ණයෙන් වර්ණ්වත් වී තිබුනේ සුරන්ගනාලොවක සිතුවමක් මෙනි. ගොඩනැගිලි වල බිත්ති ලයිට්කනු සහ ගස් වල කදන් පමනක් සම්මත වර්ණයන්ගෙන් දිස් වුවද අනෙකුත් සෑමදේම ශ්වේත වර්ණයෙන් අලංකෘ වීතිබුනි. තවමත් පාරෙහි පියමන් කරන්නේ ඩන්ස්ටන් පමනි. පරිසරයේ සුන්දරත්වය සීතල අභිබවා යන හැගීමක් ඔහුගේ සිතතුල ජනනය වීම නිසා ඔහුට වැඩි සීතලක් නොදැනුනේය. ටික දුරක් ඔක්ස්ෆර්ඩ් වීදිය දිගේ මෙම සුන්දරත්වය විදිමින් ගිය ඩන්ස්ටන් ඉදිරියෙන් වමට හැරී ලැටිමර් වීදිය ඔස්සේ පියනැගුවේ කුවීන්ස් උද්‍යානය හරහා වැටී ඇති මර්ගයේ ගොස් වරයාට සේන්දුවීමේ අටියෙනි.
කෙමෙන් කෙමෙන් කුවීන්ස් උද්‍යානය අභියසට ලගා වූ ඩන්ස්ටන් දුටුවේ පොලිස් නිළ ඇදුමෙන් සිටි කීපදෙනෙක් සහ සිවිල් ඇදුමින් යුතු පිරිසක් කලබලෙන් මෙන් රැස්වී යමක් නිරීක්ෂණය කරන අයුරුය. තමාතුල සිටි රහස්පරීක්ෂකවරයා අවදිවීම නිසාවෙන් ඇතිවූ කුතුහලය පැරදවියනොහැකි වූ ඩන්ස්ටන් ඒදෙසට පියමැන්නේ සිදුවීඇති දේ දැනගැනීමේ මහත්වූ ආශාව පෙරදැරි කරගෙනය. ගොදුරක් දෙසට ඇදෙන බලළෙකු මෙන් ලන්වූ ඩන්ස්ටන්ව දුටු පරීක්ෂක ලූකා ඩන්ස්ටන්ට කතාකලේ තමාව කල්තියාම බලාපොරොත්තුවෙන් පසුවූ ලෙසිනි.
"සුභ උදෑසනක් ඩන්ස්ටන් මහත්මය"
පරීක්ෂක ලූකා තම හිස්වැසුමත් ගලවමින් හිස පහත් කරමින් ඩන්ස්ටන්ට රහස්පරීක්ෂකතැනහට අචාර කලේය ගෞරවාන්විතවය.
"අහ්... සුභ උදෑසනක් පරීක්ෂක ලූකා"
බලාපොරොත්තු නොවූ මොහොතක තාමව ඇමතූ සෞතඇම්ප්ටොන් මධ්‍යම පොලීසියේ පරීක්ෂක ලූකා දුටු ඩන්ස්ටන් හොර වැඩක් කිරීමට ගොස් අසුවූ සොරෙකු මෙන් පරීක්ෂක ලූකා දෙස බලමින් ප්‍රතිචාර දැක්වූයේය.
"සුභ උදෑසනක් කීවත් හැමෝටම සුභ නොවුනු පාටක් මටනම් පේන්නෙ පරීක්ෂක ලූකස්"
ස්ථානයට ලන්වෙත්ම එහි වූ කලු කබායකින් වසා තුබුනු මිනිස් මලසිරුර දැකීම නිසා ඩන්ස්ටන් ප්‍රකාශ කලේය.
" එහෙමයි ඩන්ස්ටන් මහත්මය, දැනට නිගමනය කරන්නෙ මෙය සියදිවි නසාගැනීමක්.... ඊයෙ රාත්‍රියේ එකොලහට පමන උද්‍යානයේ මුරකරු දැකල තියනව මොහු උද්‍යානය දෙසට පැමිනෙනව. ටික වේලාවකින් ඇසුනු වෙඩි ශබ්දය නිසා මුරකරු උද්‍යානය සෝදිසි කිරීමෙදී මල සිරුර මුනගැසිල තියනව... "
පරීක්ෂක ලූකා සිදුවීම විස්තර කිරීමට මුලපිරුවේ සිදුවීම පිලිබඳව රහස්පරීක්ෂක ඩන්ස්ටන්ගේ නිගමනය දැනගැනීමෙ අදහසිනි. රහස් පරීක්ෂක ඩන්ස්ටන් ඉතා භායානක අපරාධ රැසක සුලමුල හෙලිකරගත් ඉතා දක්ෂ, ප්‍රදේශයේ නමක් දැරූ කීර්තිමත් පෞද්ගලික රහස්පරීක්ෂකවරයෙකි. ඔක්ස්ෆර්ඩ් වීදියේ දෙමහල් නිවසක තනිවම ජීවත් වූ ඩන්ස්ටන් රහස්පරීක්ෂකතුමන්ව සියලුදෙනා හැදින්වූයේ ඔක්ස්ෆර්ඩ් වීදියේ ෂර්ලොක් හෝර්ම්ස් නමිනි.
"ඔබට පනිවිඩය ලැබුනේ කීයට විතරද ?"
ඩන්ස්ටන් වැඩිදුර තොරතුරු විමසුවේ සිදුවී ඇතිදෙය පිලිබද පැහැදිලි අදහසක් තමාතුල ගොඩනගා ගැනීම සඳහාය.
"මට පනිවිඩය ලැබෙනවිට උදේ හතට පමන ඇති"
පරීක්ෂක ලූකා පිලිතුරු දුන්නේය.
"හ්ම්ම්ම්ම්.... ඇයි මුරකරු එතරම් වෙලාවක් ගතකලේ පනිවිඩය දෙන්න"
ඩන්ස්ටන් කුතුහලයෙන් සහ චෝදනා මුඛව විමසීය.
"ඔහුගේ රාජකාරි දුරකතනය රාත්‍රිය පුරාවටම විසන්ධි වෙලාලු තිබුනෙ... ඉතින් ඔහු පනිවිඩය දීගන්න නොහැකිව එලිවෙනකන් ඉදල තියනව රාජකරිය මාරුවන වෙලාව එනතෙක්... උදේ වැඩමුරය බාරගැනීමට සිටි මුරකරු පැමිනිපසු ඔහු පොලීසියට පැමින අපව දැනුවත්කලා"
පරීක්ෂක ලූකස් පැහැදිලි කලේ නඩුකාර උත්තමයෙක් ඉදිරියේ තම සේවාදායකයාගේ නිර්දෝශී භාවය ඔප්පුකිරීමට තැත්කරන නීතිඥ වරයෙකු මෙනි.
"ඔබ දුරකතන සමාගමෙන් විසන්ධි වීම පිලිබඳව විමසීමක් සිදුකලාද ?"
"තවම නෑ ඩන්ස්ටන් මහත්මය".
" පරීක්ෂක ලූකා..සිද්ධිය දුටු වෙනත් කෙනෙක් නැද්ද ?"
" මෙතෙක් අපට හමු උනේ නෑ ඩන්ස්ටන් මහත්මය"
"වෙඩි හඩ ඇසුනු කෙනෙක්වත්"
ඩන්ස්ටන් තවදුරටත් විමසීය.
"මෙතෙක් හමු වූයේ නෑ"
පරීක්ෂක ලූකා පිලිතුරු දුන්නේ රජකාරිය අසම්පූර්ණව කල නිළධාරියෙකු මෙන් වරදකාරී හැගීමක්ද සිතේ ඇතිවය.
"හ්ම්ම්ම්ම්ම්..... හොදයි පරීක්ෂක ලූකා... මට දැනගන්න පුළුවන්ද ඇයි ඔබ මෙය සියදිවි නසාගැනීමක් බවට නිගමනය කරන්නේ"
ඩන්ස්ටන් මදක් නැමී මල සිරුර පරීක්ෂාකරන අතරතුර පරීක්ෂක ලූකාගෙන් විමසීය.
"මලසිරුරේ කබා සාක්කුවේ තිබී ඔහු මූල්‍යමය ගැටලුක් නිසා සියදිවි නසාගන්න බව සඳහන් ලිපියක් හමුවුනා..තව වැදගත්ම දේ තමා ඔහුගෙ ඔය දකුණු අතේ තිබෙන පිස්තෝලය...එහි උන්ඩයක් අඩුයි... වෙඩි තියාගෙන තිබෙන්නේ ඔහුගේ ඔලුවේ දකුණු පැත්තට".
නැවත නැගිට උවමනාවෙන් ලූකාගේ අතේ තිබූ ලිපිය අතටගත් ඩන්ස්ටන් කුතුහලය පිරි දෙනෙතින් නලලද රැලිගන්වා එය කියවීමට පටන් ගත්තේය.
නැවතත් මදක් නැමී මලසිරුරෙහි අත් සහ ඇගිලි හොදින් පරීක්ෂාකල ඩන්ස්ටන් නැගිට පරීක්ෂක ලූකාට කතාකලේය.
"පරීක්ෂක ලූකා"
නැවතත් ලිපිය දෙස නෙත් යොමමින් ඩන්ස්ටන් ඇසුවේය.
"ඔබ දකුණත් කෙනෙක්ද වමත් කෙනෙක්ද ?"
ඩන්ස්ටන් ලිපිය නැවතත් ලූකා අත තබමින් මලසිරුර දෙස දෑස් යොමාගනිමින්ඇසුවේය.
"මම දකුණත් පුද්ගලයෙක් ඩන්ස්ටන් මහත්මය"
ලූකා ලිපිය නැවතත් නමා තම කබා සාක්කුවට දමාගනිමින් මලසිරුර දෙස බලාසිටි ඩන්ස්ටන්ගේ දෙනෙත් දෙස දෑස් යොමුකරමින් පිලිතුරු දුන්නේ කුතුහලයෙනි.
" හොදයි ඔබ සාමන්යෙන් අකුරු ලිවීමේදී දකුණු අත භාවිතා කරනව ඇති.. ඔබ දකුණතින් ලියද්දි තීන්ත පෑනෙහි තීන්ත ඇගිලිතුඩුවල ගෑවෙනවද..? "
ඩන්ස්ටන් පරීක්ෂක ලූකා දෙස බලා විමසීය.
"ඔව් .. නිතරම"
ලූකා තවමත් කුතුහලයෙන් පිලිතුරු දුන්නේය.
"හොදයි ලූකා..ඔබ මෙතෙක් මම ඇසූ ප්‍රශ්න වලට දක්ෂ ලෙස පිලිතුරු දුන්නා..දැන් මට කියන්න පුලුවන්ද මේ මලසිරුරේ ඇගිලිදිහා බලල ඔහු වමත්ද දකුණත්ද කියල"
මලසිරුරෙහි වම් අතෙහි ඇගිලි මත තිබූ තීන්ත පැල්ලම් දැකීමෙන් අමාරුම ප්‍රශ්නයට පිලිතුර සොයාගත් ශිෂ්‍යයෙක් මෙන් ලූකා ඩන්ස්ටන් දෙස බලුවේ ජයග්‍රාහී සිනහවක්ද පාමින.
"මොහු එකත් එකටම වමත් කරුවෙක් ඩන්ස්ටන් මහත්මය.. මොකද ඔහුගේ දඹර අගිල්ලෙහි සහ මාහපට ඇගිල්ලෙහි තීන්ත පැල්ලම් තියනව."
"ඔව් ඔබ හරි... ඒ වගේම ඒ තීන්තපැල්ලම් නිල් පැහැතී...ලිපිය ලියා ඇත්තේද නිල් පැහැති තීන්තවලින්... ඉතින් මේ ලිපිය ඔහු විසින්ම ලිවීමට බොහෝ ඉඩකඩ තියනව... නමුත් එක් පරස්පර විරෝදී කාරනාවක් මෙහි තිබෙනව"
ඩන්ස්ටන් ප්‍රකාශ කලේ නැවතත් මලසිරුරේ අත් හොදින් පරීක්ෂා කරමිනි.
"ඒ මොකද්ද ඩන්ස්ටන් මහත්මය"
පරීක්ෂක ලූකාද නැවත මලසිරුර අසලින් හිදගනිමින් විමසීය.
"පරීක්ෂ්ක ලූකා....ඔබ අති දක්ෂ වෙඩික්කරුවෙක් කියල මම අසාතිබෙනව"
ඩන්ස්ටන් උන් ඉරියව්වෙන්ම ඉදිමින් පරීක්ෂක ලූකා සමග කතාකිරීම ඇරඹීය.
"ඔව් ඩන්ස්ටන් මහත්මය.. ගිය අවුරුද්දේ දක්ෂතම වෙඩික්කරුට හිමි සම්මානයත් ලැබුනෙ මට"
ලූකා කීවේ ආඩම්බරයෙනි.
"මම හිතන්නේ ඔබ පිස්තෝලය හැසිරවීමේත් අති දක්ෂයෙක්"
ඩන්ස්ටන් තවදුරටත් විමසීය. මෙලෙස දිගින් දිගට ප්‍රශ්න ඇසීම පිලිබඳව ලූකාට යම් අමනාපයක් ජනිත වෙමින් තිබුනි.
"ඔව් ඩන්ස්ටන් මහත්මය..ඒත් ඇයි ඔබ එහෙම ඇසුවෙ."
පරීක්ෂක ලූකා කුතුහලයෙන් ඩන්ස්ටන්ගේ දෙනෙත් දෙස බලා විමසීය.
"පරීක්ෂක ලූකා ... ඔබ සාමන්යෙන් වෙඩි තැබීමේදී ඔබේ පිස්තෝලය රදවාගන්නේ කුමන අතේද ?. මම ඇහුවේ ඔබේ හුරු අතින්ද නුහුරු අතින්ද ?"
මද සිනාවක් පෑ ලූකා ඩන්ස්ටන් දෙස බලා,
"ඒක ඉතින් සාමන්‍ය දෙයක්නෙ ඩන්ස්ටන් මහත්මය... කවරු උනත් පාවිච්චි කරන්නෙ තමන්ගෙ හුරු අතනෙ"
ජයග්‍රාහී සිනහවක් පලකල ඩන්ස්ටන් නැවත මලසිරුර අසලින් නැගිට්ටේය.
" හොදයි.. එහෙනම් හොදට හිතන්න පරීක්ෂක ලූකා.. ඔබ ප්රකාව්කල ආකාරයට මොහු වමත් පුද්ගලයෙක.. එහෙනම් ඔහු පිස්තෝලය අල්ලගන්නෙ වම් අතින්.. ඒවගේම වෙඩිතියාගන්නේ වම් පැත්තට.. නමුත් මොහු පිස්තෝලය අල්ලන් ඉන්නෙ දකුණු අතින්..වෙඩි වැදිල තියෙන්නෙ දකුණු පැත්තට"
ඩන්ස්ටන් මල සිරුරේ වෙඩි වැදී ඇති ස්ථානය පෙන්වමින් ලූකාට පැවසුවේය.
"දෙවියනේ ඇත්තමයි... ඒ කියන්නෙ ඩන්ස්ටන් මහත්මය ඔබ හිතන්නෙ මම හිතන දේමද ?"
ලූකා පුදුමයෙන් ඩන්ස්ටන්ගෙන් විමසුවේ පලමුවරට දුටු මලසිරුරක් නිරීක්ෂණය කරන පොලිස් නිළධාරියෙකු මෙන් නැවත මලසිරුර නිරීක්ෂණය කරන ගමන්ය.
" ඔව් පරීක්ෂක ලූකා.. මම හිතන්නෙ මෙය මිනීමැරුමක්..තවත් හොදට ඔහුගේ දෑත් පරීක්ෂා කරන්න ලූකා..ඔබට පෙනෙයි ඔහුගේ වම් අතෙහි ඇති කරගැට ප්‍රමානය..එයින් තවදුරටත් පැහැදිලි වෙනව මොහු වමත් කරුවෙක් බව."
ඩන්ස්ටන් මල සිරුර අසල සිටගෙන ලූකාට උපදෙස් දමින් ප්‍රකාශ කලේය. ලූකාද මලසිරුර හොදින් පරීක්ෂාකරන ගමන් ඩන්ස්ටන්ව ඇමතීය.
"එතකට ඇසින් දුටු සාක්ෂිය"
ලූකා ඇසුව්වෙ මලසිරුර අසල නැමී සිටින ගමන් ඩන්ස්ටන්ගේ මුහුන දෙස කුතුහලයෙන් බලමිනි.
"මුරකරුට වෙඩි හඩ ඇසුනෙ කීයට කියලද ඔබ මට කියුවෙ".
ඩන්ස්ටන් තම කබායේ තිබූ දුම් පයිප්පය කටින් හපා දල්වන අතරතුර ඇසුවේ ගැටලුව බොහෝදුරට විසදා අවසන් ලෙසටය.
"මොහු උද්‍යානය දෙසට යනව දැකල තියෙනෙ රාත්‍රි එකොලහට පමන.. වෙඩිහඩ ඇහිල තිබෙන්නෙ ඊට විනාඩි පහලවකට පසුබවයි ඔහු මට ප්‍රකාශ කලේ."
ලූකා නැගිටිමින් ඩන්ස්ටන්ට කීවේය.
"මුරකරු මලසිරුර දැකතිබුනෙ මෙම ස්ථානයෙමද...නැත්නම් තැන වෙනස් කරලද"
ඩන්ස්ටන් අසුවේය.
" නෑ.. ඔහු ප්‍රකාශ කලේ මලසිරුරට අතවත් නොතැබූ බවයි"
ලූකා ප්‍රකාශ කලේය.
" අද උදේ පාන්දර තුනහමාරයි හතරයි අතර ඔබ මොකද කලේ පරීක්ෂක ලූකා"
ඩන්ස්ටන් අසුවේ දුම් වලාවක් පරිසරයට මුසුකරන ගමන්ය.
" මම ඊයෙ රාත්‍රියේ ස්ථාන භාර නිළධාරි ලෙසට රාජකාරි කලා ඩන්ස්ටන් මහත්මය... ඉතින් එකහමාරෙ විතර ඉදන් දෙක හමාර පමන වෙනතෙක් මම කෙටි විවේකයක් අරගත්තා.. තුනයි තිහ පමන වනවිටනම්... මම හිටියෙ පොලිසිය ඉස්සරහ එලියෙ දුම් පයිපය උරන ගමන්."
ලූකා පිලිතුරු දුන්නේ කල්පනා කරමිනි.
"හොදයි එහෙනම් පරීක්ෂක ලූකා ඔබටත් දකින්න ඇති මේ සීතකාලේ පලමු හිම පතනය ආරම්භ උනේ කීයටද කියල"
ඩන්ස්ටන් ඇසුවේ සිනාමුසු මුහුනින් නැවත දුම් පයිප්පය නිවා කබායට දමමිනි.
" ම්ම්ම්ම්... මම එලියට ගිහින් පැය භාගෙකින් වගේ හිම වැටෙන්න පටන් ගත්තා.. ඒ කියන්නෙ මම එලියට ගියේ තුනයි විස්සට විතර..හිම වැටෙන්නෙ ආරම්භ වෙද්දි තුනයි පනහ වගේ ඇති"
"එතකට මගේ නිවහනයි පොලිස් ස්ථානයි දෙකම තියෙන්නෙ කුවීන්ස් උද්‍යානයේ ඉදල වැඩිදුරක නෙමෙනෙ.. මේතන්ටත් හිම වැටෙන්න පටන්ගන්න ඇත්තේ ඒ වෙලාවටමයි.. ඔබ මොකද කියන්නෙ පරීක්ෂක ලූකා"
ඩන්ස්ටන් කබායේ තිබූ ඔරලෝසුව ගෙන වෙලාව බලමින් විමසීය.
"ඔව් ඔබ හරි"
ලූකා එය අනුමත කලේ ඩන්ස්ටන්ගේ නිගමනය දැනගැනීමේ මහත් වූ ආශාව ඇතිවය.
"එහෙනම් පරීක්ෂක ලූකා..ඔය මල සිරුර පොඩ්ඩක් ඔසවල බලන්න"
ඩන්ස්ටන් ලූකාව මෙහෙයවමින් කීවේය. ලූකාද මලසිරුර ඔසවා එහි පිටුපස සහ පොලොව හොදින් නිරීක්ෂණය කලේය.
"හොදයි පරීක්ෂක ලූකා..ඔබට මොකද හිතෙන්නේ..ඔබ යමක් නිරීක්ෂණය කලාද"
ඩන්ස්ටන් ඇසුවේ තම හිස්වැස්ම ගලවා එහි වැටී තිබූ හිමකැදිලි ඉවත්කර පිසදමමිනි.
"ම්ම්ම්ම්...විශේෂ දෙයක්නම් දුටුවේ නෑ ඩන්ස්ටන් මහත්මය"
" මලසිරුර යට පොලවෙ ඔබට මොනවද පෙනෙන්නෙ"
"ම්ම්ම්... කිසිදෙයක් නෑ.හිම වැටිල තියන්ව අඟලක් පමන ගනකමට"
ලූකා නැවත මලසිරුර ඔසවා පරීක්ෂාකරන ගමන් පිලිතුරු දුන්නේය.
"බොහොම හරි..ඔබ මා බලාපොරොත්තු වූ පිලිතුර ලබා දුන්න"
ඩන්ස්ටන් කීවේ නිවැරදි පිලිතුරු ලබාදුන් ශිෂ්‍යයෙක් පිලිබඳව සතුටුවන ගුරුවරයකු ලෙසටය.
"ඉතින් ඒකෙන් ඔම කුමක්ද අදහස් කරන්නෙ"
ලූකා විමසුවේ කුතුහලයෙනි.
"හොදයි.. මොහු මෙතන සියදිවි නසාගත්තේ ඊයේ රෑ එකොලහයි කාලට විතරනම් ඒවනවිට තවම හිම වැටෙන්න පටන්ගෙන නෑ..ඉතින් ඔහු ඔතන වැටුනේ එකොලහයි කාලටනම් මලසිරුර යට හිම තියෙන්න හැකියාවක් නෑ..මොකද හිම වැටෙන්න කලින් මොහු මියගිහින් මෙතන වැටිල ඉන්න ඕන... මලසිරුර යට අඟලක විතර හිම තට්ටුවක් තිබීමෙන් සහ මලසිරුර දුටු පලමු පුද්ගලය මුරකරු වීමත් ඔහු මලසිරුර තිබූ ස්ථානය වෙනස් නොකීරීමත් ගැන සලකා බැලූකල මොහු මියගිය වේලාව මට නිෂ්චිතව කියන්න බැරිඋනත් මොහු මේ සිථානයට ගෙනත් දාමා තියබෙන්නේ පාන්දර තුනයි තිහෙන් හතරෙන් විතර පස්සෙ..ඒ වගේම ඔලුවෙන් වහනය වී ඇති ලේ ප්‍රමානයෙන් ඉගියක් ලබාදෙනව මොහු වෙඩිතබා ඝාතනය කරන ලද්දේ මෙම ස්ථානයට ගෙනැවිත් දැමීමට වැඩිවේලාවකට කලින් නොවේ"
ඩන්ස්ටන් කීවේ ජයග්‍රාහී ලෙස තම හිස්වැස්ම නැවත ලා ගනිමිනි.
"දෙයියනේ ඩන්ස්ටන් මහත්මය එතකට ඔබ කියන්නෙ කවුරු මේ මිනීමැරුමක් කරන්න ඇද්දැයි කියලද?"
"මට දැනට පෙනෙන නිරීක්ෂණ සහ නිගමන වලට අනුව කියන්න පුලුවන් මේක මිනීමැරුමක් කියල විතරයි පරීක්ෂක ලූකා. ඒ වගේම ඔය ලිපිය මොහු ලවා බලෙන් ලියවගත් ලිපියක්"
ඩන්ස්ටන් නැවතත් ඔරලෝසුව බලමින් ප්‍රකාශ කලේය.
"ඒත් මුරකරු කියපු වෙලාවන් බොරුනම්"
ලූකා කුතුහලයෙන් යුතුව ඩන්ස්ටන්ගෙන් ඇසුවේය.
"ඔහු එසේ බොරු කීමත් සැකයට කරුනක් පරීක්ෂක ලූකා"
ඩන්ස්ටන් මද සිනහවක් පාමින් කීවේය.
"ඔබ කියන්නෙ ඔහු මිනීමැරුම කල බවද ?"
ලූකා ඇසුවේ මීලගට කලයුතු දේ සිතාගත නොහැකිවය.
" නෑ මම එසේ අදහස් කරන්නෙ නෑ.. නමුත් මෙය මිනීමැරුමක් වීමට බොහෝසෙයින් ඉඩකඩ තිබෙනව.. මුර කරුව අතඩංගුවට ගෙන ප්‍රශ්න කරන්න... ඔබට මේ ගැටලුව විසදාගැනීමට යායුතු මර්ගය පිලිබඳ අවබෝධයක් ලැබෙයි."
ඩන්ස්ටන් කීවේ නැවතත් දුම් පයිප්පය දල්වන අතරතුරය
"හොදයි ඩන්ස්ටන් මහත්මය ඒත්......"
"පරීක්ෂක ලූකා.. මගේ කාලය අවසන්.. මම දැන් යායුතුයි.. පසුව හමුවෙමු ... ඔබට ජයග්‍රාහී දවසක් "
ලූකා කතාකර අවසන් වන්නටත් කලින්ම ඩන්ස්ටන් පිටත්ව ගියේය.
පැය භාගයක් ඇතුලත මරනකරුගේ පෞද්ගලික විස්තරවත් නොඅසාම මෙම මරනය පිලිබඳව තමන් සිටි නිගමනය සම්පූර්ණයෙන්ම වෙනත් අතකට යොමුකර ඩන්ස්ටන් දෙස පරීක්ෂක ලූකා බලාසිටියේ ඔහුගේ හැකියාව පිලිබඳව අදහාගත නොහැකිවය.
----------------නිමි-----------------
රචනය: සරත් මහින්ද විජ්රත්න.
Comments
Post a Comment