උපාලිගේ නාඩඟම ✍️✍️😂

උපාලිගේ නාඩඟම



"උපාලි පද්මසිරි, මගත්තයෝ, නැගිටපන් යකෝ අටත් පහුවෙලා"

මුනින් අතට හැරී කොට්ටෙ ඔලුව ඔබාගෙන ගොරවන උපාලිගේ, මදුරු දැලෙන් එළියට පැන තිබුණු කකුලට උඩ පැන දිනිත් පහරක් එල්ළ කරමින් ඇහැරවීමට තැත්කලේ ප්‍රවීණ පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝවත් මතක් කරගනිමිනි. නමුත් කුම්ඹකර්නට හොරනෑ පිම්බාක්සේ උපාලිනම් නෙමේ ඇහැරුනේ.

"නැගිටහන් කාලකණ්ණියෝ පස්චාත්භාගෙට ඉර වැටිල ගිනිත්ගන්නකන් නිදාගන්නෙ නැතිව, නැගිටල මෙන්න මේ තේ එක බීපන්"

"පස්සෙ බොමු"

යාන්තන් කෙදිරිගාමින් උපාලි ප්‍රතිචාර දැක්වූයේ මරණාසන්න රෝගියෙකුමෙනි.

"මොකද්ද බන් උඹලගෙ කම්මැලිකම, තේ එක පොවන්නත් පස්චාත් අර්ධ වන්දනාව කරන්න ඕන..... රෙද්ද.."

දිනිත් උත්තර දුන්නේ ඔහුගේ තේ එකත් බොනගමන් ජනේලෙට හේත්තු වී උදේ පාන්දර අහසේ පියාඹන හෙලිකොප්ටර්ය දෙස බලාන ජීවිතේ ගැන කලකිරුනු ගිහියෙක් තපසට යන්න ඔන්න මෙන්න වගේ හැගීමක් ඇතුවාසේය. නමුත් උපාලිනම් ලෝකෙ පෙරලුණත් නැගිටින පාටක්වත් නැත.

දිනිත් සහ උපාලි කොළඹ පෞද්ගලික ආයතනයක ආරක්ෂක අංශයක වැඩකරන එකම වයසේ අවිවාහක තරුණයන් දෙදෙනෙකි. කොරෝනා හේතුවෙන් දැමූ ඇදිරිනීතිය නිසා කොළඹට හිරවුණු දිනිත් සහ උපාලි අතේ තියන කීයහරි වියදම් කරගනිමින් කොහොමහරි එදා වේල පිරිමහගෙන එක ජනේලෙකින් සහ දොරකින් සමන්විත කුස්සියත් නිදන කාමරයත් එකම වන බෝඩිමේ හිරවෙලා ජීවත්වන්නේ අතේ තියන මුදල්ටික ඉවරවෙනකන් කෙසේ හො ජීවත්වන අටියෙනි.

"නැගිටපන් අම්බරුවො... තේ එක නිවෙනව "

හෙලිකොප්ටර්ය දෙස කල්පනාවක නිමග්නව බලාසිටි දිනිත් හදිසියේම යමක් මතක් උනාසේ ඒ උන් ඉරියව්වෙන්ම ඔලුව පමනක් උපාලිගේ සිරියහන දෙසට මදක් හරවමින් නැවතත් ගෝරනාඩුව දෙන්නට ගත්තේය. උපාලි නින්දෙන් පිබිද සිටි නමුත් ඇදෙන් නැගිටින්න ඇති කම්මැලිකමට තවමත් උන් ඉරියව්වෙන්ම ඇදේ වැතිරී සිටින්නේ ලොරියකට යටවූ ගෙම්බෙක් මෙනි.

"මේ උපාලිය.. ඇත්තටම කව්ද බන් උබට නම දැම්මේ ?"

දිනිත් උපාලිගෙන් ඇසුවේ කලක සිට හිතේ වැඩකරන උගතෝකෝටික ප්‍රශ්නයකට උත්තර හොයන්නාක් මෙනි.

"මයි ෆාදර්"

උන් ඉරියව්වෙන්ම කෙදිරිගාමින් උපාලි පිලිතුරු දුන්නේය.

"ඇයි බන් උබලගෙ තාත්තට වෙන නම් තිබ්බෙ නැද්ද හද්ද පරණ නමක් දැම්මෙ"

දිනිත් ඇසුවේ උපහාසාත්මකව සිනහවක්ද පාමින.

"අම්ම කියපු නම අමතක වෙලා උප්පැන්නෙ ලියපු පොර ගාවට යද්දි...අය ගෙදර ගිහින් අහන් එන්නැයි.... උයන්නෙනුයි පයන්නෙනුයි මතක් වෙලා තියෙන්නෙ ඔෆිස් එකේ ලොක්කගෙ නම"

උපාලි කිසිම හැගීම් ප්‍රකාශයක් නැතිව උන් ලෙසම කියාගෙන ගියේය. කතාකල ආකාරයෙන් දිනිත්ටනම් හිතුනේ දැන්නම් මුට ටිකක් පන ඇවිත් වගේ කියාය. නමුත් කියපු කතාවට දිනිත්ටනම් මැරෙන්න හිනා.

"ඇයි තෝ හිනා වෙන්නෙ".

තරමක පිබිදීමකින් යුක්තව සහ අමනාප ස්වරයෙන් උපාලි අසුවේය.

"ඉතින් යකෝ කෝල් එකක් දීල අහගන්න එපෑ"

සැනින් සිනහව නැවත්වූ දිනිත් මදක් බැරෑරුම් සහගත ගතියක් මවාගනිමින් අසුවේය.

"බැට්ට්‍රි බැහැල"

තවමත් උන් ඉරියව්වෙන්ම උපාලි පිළිතුරු දුන්නේය.

"මගේනම් අම්ම ඉන්ටර්නෙට් එකෙන් බලවලලළුනෙ මේ ලස්සන නම දාල තියේනේ...... එක නෙමෙයි බන් අපේ සීයත් උපාලි කියපන්කෝ.."

කියමින් දිනිත් තේ කෝප්පය එක අතකින් අල්ලගෙන අනිත් අතෙන් බඩත් අල්ලන් කොක් හඬලා සිනාසුනේය. උපාලි හැගීම් දැනීම් නැතුවාසේ තවමත් ඇඳ උඩ කිසිම හැලහොල්මනක් නැත. කට විතරක් වරින් වර වැඩකරයි.

" ඉතින් සීයටත් ඉන්ටර්නෙට් එකෙන් බලලා නමක් දාගන්න එපෑ".

"ඉන්ටර්නෙට් කොහෙද බූර්වො ඒ කාලෙ. සීය ආච්චිට ටෝක්ස් කර්ල තියෙන්නෙත් යන්තන් අර ජහුට පොලකින්ද මොකකින්ද දැකල පස්සෙ කොහෙ හිටියත් නාන්න වැවට එන්න එපැයි කියල වැවලඟ තිබ්බ සියඹලා ගහකට මුවාවෙලා සති දෙකක්ද කොහෙද බලන් ඉදලයි ලියුමක් දීල තියෙන්නෙ."

දොර අසල ඇති කරාමෙ ලඟට ගිය දිනිත් තේ කොප්පයත් සෝදන ගමන් කීවේය.

"තොපේ අච්චි නාන්නෙ සති දෙකකට සැරයක්ද.. සීය නහය කපාගෙන ඉන්න ඇත්තෙ"

තවමත් වැඩකරන්නේ උපාලිගෙ කට පමනි.

"අනේ මේ.. මගෙන් කූහරුප අහගන්නෙ නැතිව බොනවනම් බීපන් මේ මගුල නැත්තන් විසිකරපන්"

දිනිත් කේන්තියෙන් ඔහුගේ සෝදපු කෝප්පය මේසය මතගසා තුවායත් රැගෙන ක්ෂණිකව හැරී ගියේ දොරෙන් එලියට බැහැපුගමන් බිත්ති තුනකින් වටකොට කාමරයෙ ප්‍රධාන බිත්තියකටම අලලා සෑදූ උඩින් විවෘත නාන කාමරයටය.

දිනිත් නාන කාමරයට ගිය ඇසිල්ලෙන් උපාලිගේ දුරකතනයේ රින්ගින් ටෝනය නාද වන්න ගත්තේ මොරදෙන කනවැන්දුම් ගැහැණියක ලෙසය .

"පෙම් පත ඉරන්නෙපා ගුරු තුමනී..... අකුරට ආදා මගෙ සිත බැදුනී.....
ඇය අතහරින්න මට දුක හිතුනී.....
මට සමාවෙන්න කවුරුද වැරදී..."

උපලිගේ දුරකතනය දිගින් දිගට මොරදෙන්න ගත්තේය. දැන් යන්තම් උපාලිගේ කටට අමතරව අතටත් ප්‍රානය ලගාවී ඇත්තාසේ උන් ඉරියව්වෙන්ම අත දිගුකරමින් හඩා වැලපෙන දුරකතනය සොයන්නට උත්සාහ කලේය. කොහොමහරි උත්සාහය ජයගත් උපාලි මලකඩ කාපු දොරක් වසන්නාසේ බොහොම අමාරුවෙන් දුරකතනය කන ලඟට ගත්තේ ඇමතුම ගන්නාගේ මෝට හිතින් ගුණ ගායනා කරමිනි.

"හලෝ...."

තවමත් නිදිමත එළවාගත නොහී උපාලි පිලිතුරු දුන්නේ උන් ඉරියව්වෙන්මය.

"හෙලෝව්.........උපාලි අයියා.......මම මදූදූදූ..."

දුරකතනය එහාකොනෙන් ඇසුන ඒ ලයාන්විත ඉලාස්ටික් සුන්දර හුරතල් කටහඩ ඇහෙත්ම උපාලිගේ නිදිමත ආගිය අතක් නැතිවිය. උපාලි නැගිට ඇඳ උඩ ඉදගත්තේ විදුලි වේගයෙනි.

"ආ.... මදූ නංගියා...ගුඩ් මෝර්නින්....ඉතින් ඇයි නංගියා මේ හදිසියේ"

උපාලි ඇසුවේ මදූට නොදෙවෙනි හුරතලයක් ආරූඪ ගනිමිනි. මදූ උපාලි වැඩකරන පෞද්ගලික ආයතනයේම වැඩකල පිළිගැනීමේ නිලධාරීනියයි. ඇය ඇහැට කනට පෙනෙන සුරූපී තරුණියක වූ බැවින් ආයතනයේ බොහෝදෙනාගෙ ඇස් මානයේ වූ එකිය වූයේ මදූය. ඇය පිලිබඳව ඔෆිස් එකේ කොල්ලන්ගේ තිබූ උනන්දුව පිලිබඳ හොදින් දැනසිටි මදූ කොල්ලන් රවටා වැඩගත්තේ ඔවුනට සහජයෙන් ආ හැටහතර මායමට පිංසිද්ද වෙන්නටය.

"හදිසියක්ම නෙමේ අයියා... අයිය වැඩකද..?"

"විශෙෂ වැඩක්නම් නෑ නංගිය මේ උදේ පන්දරම නැගිටල පොඩ්ඩක් වර්ක් අවුට් පාරක් දැම්ම. උදේට වර්ක් අවුට් කලේ නැත්තන් මට මුලු දවසම අප්සට්"

උපාලි පච තලිය පතබෑවේ ඇගටත් නොදැනීය.

"මම කරදර කලාද මන්ද"

මදූ ඒ හුරතලෙන්ම කතාව ඇදගෙන ගියාය.

"අනේ පිස්සුද නංගිය මොන කරදරයක්ද, දැන් මේ ප්‍රෝටීන් ශේක් එකක් ගහන ගමන්. ෆිට් එකේ ඉන්න එපෑ."

උපාලි පිලිතුරු දුන්නේ තවමත් ඇඳ උඩ ඉදගෙන මේසය උඩ ඇති දිනිත් හදල දුන් තේ කෝපය දෙස බලා මදුරු දැළද අඹරවන ගමන්ය.

"අයියා මට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද ? "

මදූගේ හුරතලය තවත් වැඩිවිය.

'මට හිතුන අඹරන ඇඹරිල්ලට උදව්වක් ඕනවෙල තමා කියල'. උපාලි හිතින් තමාටම කියගත්තේ මොන ගිනිගෙඩියක් පාත්වේදැයි හිතේ ඇතිවූ සැකයද කැටිවය.

"ඔව් කියන්න නංගි...අපි උදව් නොකර ඉතින් මේවෙලාවෙ නංගිලාට කවුරු උදව් කරන්නද. කාගෙ උනත් දරුවෙක්නෙ ඉතින්".

මෙවර උපාලිගේ හුරතලය ටිකක් අඩුවූයේ ඉල්ලන උදව්ව ඉටුකල හැකිවේදැයි සිතේ ජනිතවූ සැකය නිසාවෙනි.

"අයිය බලන්නකො නේද මේ ඇදිරිනීතිය කවද ඉවරව්වෙයිද මන්ද නේද , වදේ"

ආප්පෙ දාන්න කලින් තාච්චිය පිසින්නාක් මෙන් මදූ උදව්ව ඉල්ලීමට කලින් පරිසරය සැකසීමේ කාරිය ඇරඹීය.

"ඒකනම් දන්නෙ නෑ නංගි... ඉන්නකො මම පොඩ්ඩක් දිනිතයගෙනුත් අහල බලනකන්... ඔයාට හදිසිද දැනගන්න... ඉන්නකො බලන්න ඌ නානව"

උපාලි කීවේ දිනිත්ට කතාකිරීමට ඇදෙන් නැගිටීමට සූදානම් වෙන ගමන්ය.

"අනේ නෑ අයියෝ... ඒක මම නිකන් ඇහුවෙ"

පස්චාත් බාගයෙන් අර්ධයක් උස්සගෙන සිටි උපාලි නැවතත් ඇද උඩ තැන්පත් කරමින් හරිබරි ගැසී වාඩි උනේ පෙර සිටි ඉරියව්වටමය.

"අහ් මන් හිතුවෙ මේ ඒක දැනගන්න කියල... ඉතින් නංගිය උදව්ව මොකද්ද කියුවෙ නෑනෙ"

"බලන්න අයියා සතියකින් හරියට නාන්න උනේ නෑනෙ ."

මදූ කියුවේ චෝදනා මුඛවය.

'ඉදකින් යකෝ.. මෙකිත් දිනිතයගෙ ආච්චි වගේ.. ගෑනු ඔක්කොම නාන්නෙ නැද්ද..සැන්ට් පවුඩර් තිබ්බෙ නැත්තන් අපිට පෘථිවියෙවත් වසන්න වෙන්නෙ නෑ මුන්ගෙ ගඳට'..දිනිත් හිතින් තමාටම කියා ගත්තේය.

"ඇයි නංගි වතුර නැද්ද"

උපාලි මේ වතාවෙනම් කතාකලේ පොඩි අප්‍රසන්න භාවයකුත් හිතේ සිරකරගෙනය.

"වතුර තියනව අයියෝ.. ෂැම්පු බෝතලේ ඉවරයිනෙ.. අයියට බැරිද ලඟ තියනවනම් ගෙනත් දෙන්න, ඔතනින් පාර පැන්නගමන් ඉතින් අපේ බෝඩිමනෙ".

'මල කෙලියයි දැන් කොහෙන්දැයි ෂැම්පු හොයන්නේ' උපාලි තනියම සිතන්නට විය.

"ඕක මොකද්ද මගෙ පැක් එකේ එක්ස්ට්‍රා එකක් ඇති ගෙනත් දෙන්නම්කෝ"

තියන ලොකු කමට උපාලි පොරොන්දු උනේ දිනිත් ළග ෂැම්පු බෝතලයක් ඇතැයි යන විශ්වාසය පෙරදැරි කරගෙනය.

එකවර ඇදෙන් නැගිටපු උපාලි දිව්වේ නාන කමරය දෙසටය.

"අඩේ දිනිතය... උබලඟ ෂැම්පු බෝතලයක් නැතැයි"

උපාලි ඇසුවේ බැගෑපත් ලීලාවෙනි.

"පිස්සුද බන්.. ඔක්කොටම තියෙන්නෙ මේ සන්ලයිට් කැටේ විතරයි"

"අඩෝ දියන්කෝ බන් උබ ගාව තියනවනේ"

උපාලි ඇසූවේ දිනිත් බේගලයක් ඇද බෑවයි යන හැගීමෙන් යුතුවය.

"නෑබන් කියුවෙ එක පාරක්... මොකෝ මෙ උදේපාන්දර නාන්නද ?."

"නෑ බන් මේ මදූට"

"ආ... ඒත් මම බැලුව මැරිල වගේ හිටපු එකාට එකපාර පන ආවෙ කොහොමද කියල.. මේ ඇදිරි නීතිය අස්සෙ මොන ෂැම්පුද බන්"

"හරි හරි මම කොහෙන්හරි හොයාගන්නම්කො"

උපාලි කියුවේ දිනිත් ගෙන් තම උවමානාව ඉෂ්ට නොවෙන බව පසක්වීමෙනි.

මදක් කල්පනාකල උපාලිට එකවර අදහසක් පැන නැන්ගේය.

'ම්ම්ම්... සොත්ති උපාලියගෙ බෙලෙක් කඩේ ඇති.. එකෙ නැති මගුලක් නෑනෙ..ඌගෙන් ඉල්ලන් එනව ගිහින් නැත්තන් වස නෝන්ඩිය වෙන්නෙ' උපාලි ආ අදහසින් ක්ෂනිකවම ඇදුමක් දාගෙන කාරාමෙන් මූනට වතුර ටිකක් ගසාගෙන ඇදිරිනීතිය අස්සෙම එලියට බැස්සේ කූඩුවෙන් ඇරපු පාත්තයෙක් මෙනි.

සොත්ති උපාලිගේ කඩේ තිබුනේ බෝඩිමේ ඉදන් කිලෝමීටර දෙකක් පමන දුරිනි. උපාලි ප්‍රධාන පාර දිගේ වට පිට බලමින් ඉදිරියට ඇදුනේ පොලිසියෙන් ඉදීද යන්න සැකයද ඇතිවය.

' හුටා මාස්ක් එකත් අමතක උනා' උපාලිට මාස්ක් එක මතක් උනේ මීටර් පන්සීයක් පමන ආ පසුවය.

'කමක්නෑ පොලිසියට අහු උනොත් කොහොමත් හිරේනෙ' උපාලි වෙන දෙයක් වෙච්චාවෙයි සිතා ගමන දිගටම ගියේය.

ටික දුරක් යන විට කුරුට්ටගෙ තෝසෙ කඩේ ලගදි උපාලි දුටුවේ පොලිස් ජීප් එකක් හරස් පාරෙන් ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වන අයුරුය. උපාලි ඇසිල්ලෙන් පාර අයිනේ කුණු කානුවට පැන්නේ අනිච්චානුකවය.

ටික වේලාවක් හැන්ගී සිටි උපාලි දැක්කේ පොලිස් ජීපය තමා පසුකර යන අයුරුය. කලබලවූ සිත සැහැල්ලු කර ගැනීමේ අටියෙන් දීර්ඝ හුස්මක් ගත් උපාලි හුස්ම පහල දැමීමටත් පෙර නහයට දැනුනේ කුනු කනුවේ වහනය වූ අසූචි ගන්ඳයට තරමක නෑමක් කියන නහයේ සිට පෙනහලු දක්වා උලුක් කරවන ගන්දස්තාරයකි. මේ ගන්දස්තාරය ඉවසාගැනීමට නොහී උපාලි කානුවෙන් පාරට පැන්නේ ලිං මැඩියෙකු ලෙසිනි.

ඒ බාඳකයෙන් නොසැලුණු උපාලි සොත්තිගෙ කඩේට පියමැන්නේ හිරෙන් පැන්න භයානක අපරාධ කාරයෙක් ලෙස කළ වීරකම ගැන උජාරුවෙන් අත් දෙකත් විසිකරමිනි.

මෙසේ ටික දුරක් යත්ම ඉදිරියේ ඇති හංදියෙන් හැරී මීටර පන්සියයක් පමන ගියතැන තිබුනේ සොත්තිගෙ බෙලෙක් කඩේය. තව වැඩිදුරක් නැතිබව දන්නා උපාලි වලිසිංහ හාඩ්වෙයර් එක ලගින් හැරෙද්දිම දුටුවේ පාරට වී ගොරවමින් සිටි වලිසිංහගේ දොනිඇන්දගේ පොමනේරියන් බලු කුක්ක සුවිටීය. දොඩම්ගෙඩි දෙකක් උස නැතිඋවත් මූ පාරේ යන හැම එකාටම කඩා පනින්නේ පාර වලිසිංහගෙ බූදලයක් යැයි සිතාගෙනය. වෙනද ගෙයින් එලියට යෑමට නොදී රැක්කත් අද කෙසේ හෝ පාරට පැන සිටින්නේ උපාලිගේ අවාසනාවටද යන්න තීරණය වීමට ඇත්තේ තව සුළු මොහොතක් බව උපාලිට වැටහුනේ ඌ දත් විරිත්තාගෙන තමාට මාන අල්ලන හැටි දුටු විටය.

මේ මොහොතේ උපාලිගේ ඇඩ්‍රිනලීන් හෝමෝනය ක්‍රියා කිරීමට පටන්ගත් බැවින් නොදැනීම සෙරප්පු දෙකත් ගැලවූ උපාලි සුවිටී සමඟ මීටර් සීය දිවීමට ඇරඹුවේ ආරම්ඹකිරීමේ වෙඩි හඩත් නොමැතිවය. නමුත් වැඩි දුරක් යෑමට කලින්ම සුවිටී ජයග්‍රහණයේ කණුව ඩැහැගත්තේ පැනපු ගමන් තම තියුනු දත් වලින් උපාලිගේ තට්ටමක එල්ලී සිදුරු හතරක මතකයක්ද තබමිනි. වේදනාවෙන් කෑගැසුනු උපාලි බඹරයක් මෙන් වටේ කැරකුනේ කකුකුලුවෙක් මෙන් එළ්ලී තට්ටම දෙබෑකිරීමට වලිකන සුවිටීව ගලවා වෙන් කිරීමට දරන වෑයමක් ලෙසය. නමුත් වටයක් යන්න කලිතියාම උපාලිගේ කැරකිල්ලේ ප්‍රතිඵලයක් ලෙස ස්විටී අසල තිබූ ටෙලිපෝන් කණුවේ වැදුනේ පොල්ගෙඩියක් ගහන්නාක් මෙනි.තට්ටම ඇතෑරුනු සුවිටී පස්ස නොබලා දිව්වේ වේදනාවෙන් මර ලතෝනි දීගෙනය.

යන්තම් දිවි ගළවාගත් උපාලි සැනසුම් සුසුමක් හෙලමින් නැවත ගමන පටන් ගත්තේ කකුලක්ද කොරගසමිනි. කෙසේ කොහොමහරි උපාලි සොත්තිගෙ බෙලෙක් කඩේ අසලටම පැමින ඇතිබව දැකීමෙන් බාඳක දිවීමේ තරගයක් ජයගත් එකෙකු ලෙස සංතෝෂයෙන් ඉපිල ගියේය.

"සොත්ති අයියේ... සොත්ති අයියේ..."

බෙරිහන් දෙන උපාලිගේ හඩට සොත්ති එළියට අවේ වම් කකුලද කොර ගසමින්. සොත්තිගේ නිවස තිබුනේ කඩයත් සමගම පිටුපසිනි. නිවසේ ඉදිරි දොරෙන් එළියට බසිත්ම මුන ගැසෙනුයේ වටේ තහඩු වලින් ආවරනය කරන ලද කඩයේ පිටුපස දොරයි.

"මොකද බන් කෑගහන්නෙ මේ ඇදිරිනීතිය අස්සේ"

"සොත්ති අයියේ...තරහ නැතිව මට ෂැම්පු බෝතලයක් දියන්"

උපාලි ඇසුවේ ආරච්චිලා ලග දෙකට නැවෙන ගැමියෙක් ලෙසටය.

"මොකද බන් මේ ඉලව් අස්සේ ෂැම්පු බෝතල්"

ඇදිරිනීතියද කඩ කරමිනි හදිසියේ ෂැම්පු බෝතල් හොයන්න අවේ කෙල්ලෙක්ට දෙන්න යැයි සොත්ති දැනගත්තොත් වටේම ඉන්න කොල්ලො කුරුට්ටන්ට කියා තමාගෙ රෙදි ගලවන බව සිහිඋන උපාලි කියන්නට හොඳ බේගලයක් කල්පනා කලේය.

"අයියෙ මේකයි සීන් එක"

උපාලි කතාව නිර්මාණය කිරීම අරම්බ කලේය.

"දිනිතය මේ නාන ගමන්.. උගෙ ෂැම්පු බෝතලේ මම මේ ඊයෙ අල්ලපු ගෙදර ජොනි අංකල්ට බල්ල නාවන්න දුන්න.. ෂැම්පු එක ගාල ජොනි අංකල් බල්ලව සෝද සෝද ඉද්දි මූ ෂැම්පු බෝතලේ කාලනෙ.. දැන් ඕක දැනහත්තොත් ඉන්න වෙන්නෙනෑ..අංකලයටත් මේ අව් අස්සේ කඩවල් වල දුවන්නත් බෑනෙ වයසක පොරනෙ.. අරූ නාල ඉවර වෙන්න කලින් ගෙනිහින් තියන්න ඕන"

උපාලි සාර්ථක ලෙස කතාව ගොතා ඇදබෑවේය.

"ඔය දොර ඇරල තියෙන්නෙ අරන් පලයන් .. වම්පැත්තෙ රාක්කෙ ඇති"

සොත්ති නැවතත් නිවස තුලට ගියේ යම්කිසි වැඩක් අතපසු උනා සේය.
හනික කඩය තුලට රින්ගාගත් උපාලි රාක්කයෙන් කලුපැහැති බෝතලයක්ද රැගෙන පිටිපස්ස දොරෙන් එලියට පැන්නේය.

"සොත්ති අයියේ..... ගත්තෝ මම ගියෝ"

ඇසිල්ලෙන් එලියට පැන්න සොත්ති

"සල්ලි දීල පල"

යැයි උපාලිට තර්ජනාත්මක ලෙස කීවේය.

"අයියෙ පොතට දාල තියන්න මම දෙන්නම්.. දැන් මේ හදිසියට ගෙනාවේ නෑ"

කියමින් මදූගේ බෝඩිමකරා පිටත්වන ත්‍රාසජනක ගමන ආරම්භ කලේ ජයග්‍රාහී ලීලාවෙනි.

වට පිට බලා වලිසිංහ හාඩ්වෙයාර් එක ලගින් නිරුපද්‍රිතව පැනගත් උපාලි හදිසියේම දුටුවේ මීටර් 50 ක් පමන ඈතින් සිටි පොලීස් නිළදාරීන් දෙදෙනායි. කලයුතු දේ කල්පනාකල උපාලිට මතක්වුනේ උපාලි සිටි තැනට ගෙයක් එහායින් ප්‍රධාන පාරට සමාන්තරව ඇති පටුමගයි. එම පටුමග අවාසාන වන්නේ කෙලවර පිහිටි නිවසකිනි. ආරම්භය මීටර් 100ක් පමන එහයින් ප්‍රධාන පාරට වැටෙන හරස් මාර්ගයකටයි. උපාලිගේ උපක්‍රමය උනේ උපාලි සිටි සිථානයේ ඇති නිවසේ තාප්පයෙන් පැන නිවසට එහයින් ඇති පටු පාරට පැනගැනීමයි. එම නිවසද එතරම් විශාල නොවූ අතර, නිවසේ ප්‍රමානයට මදක් පමනක් විශාල ගෙවත්තක් තිබුනේය. තවත් කල්පනා කරමින් සිටියොට්ත් පොලිසියට අසුවෙන භව දැනගත් උපාලි දෙපාරක් නොසිතාම තාප්පෙන් පැනේය.

ගෙවත්තට ඇතුලු වූ ඇසිල්ලෙන් උපාලිට ඇසුනේ විලම්බීතව යටිගිරියෙන් කෑගසන කාන්තා ටින් බෙලෙක්ක කටහඩකි. එම ශබ්දයට බිය වූ උපාලිට දැන් සුලු දිය පහවෙන්න ඔන්න මෙන්න ගතියක් දැනුනේ පපුවද වේගයෙන් ගැසෙන ගමන්.

ශබ්දය ඇසුනේ වැඩි ඈතකින් නොවන බව දැනගත් උපාලි හැරී බැලූ විගස දුටුවේ බියර් පීප්පයක් තරම් විශාල ඇන්ටි කෙනෙක් තාප්පෙටම සම්බම්දකර ඇති වතුරමලෙන් ස්නානය කරමින් සිටි අයුරුය. උපාලි දැකීමෙන් බියට පත් කාන්තාව තවත් කෑගැසුවේ,

"මෙන්න හොරේක්" කියමිනි.

බියටපත් කාන්තාව අසල තිබූ රෙදි මිරිකා ඉතිරි වතුර වලින් පිරී තිබූ බේසම උස්සා ගැසුවේ උපාලිව ඔලුවෙ ඉදන් දෙපතුලට යන තෙක් තෙතබරිත කරමිනි.

නොමිලේම හොද ඖෂධ වට්ටෝරුවකින්ම ස්නානය කරගත් උපාලි හැල්මේ දිවගොස් වත්තේ අනෙක් කොනේ ඇති තාප්පයෙන් පැන පටු මාවතට ප්‍රවිෂ්ට වී පස්ස නොබලා දිව ගියේ ෂැම්පු බෝතලයද පරිස්සමට කිහිල්ලේ ගසාගෙනය.

කෙසේ හෝ ඒ මාරකය ජයගත් උපාලි කෙමෙන් කේමෙන් ප්‍රවිෂ්ට උනේ මදූගේ බෝඩිම අසලටය.

ගේට්ටුව අසලට ගිය උපාලි හති දමමින් මදූට කතාකලේය.

"මදූ නංගී... මදූ නංගී"

උපාලිගේ ආමන්ත්‍රණය ඇසුනු මදූ පිම්මේ දිව ආවේ ෂැම්පු බෝතලය ලැබෙන බවට ඇති බලාපොරොත්තුවත් සමගය.

"හානේ උපාලි අයිය... මොකෝ පරක්කු උනේ"

මදූ ඇසුවේ හැටහතර මායමෙන් කීපයක් ප්‍රදර්ශනය කරමිනි.

"නෑ නංගිය මේ පැක් එකේ තිබ්බ ෂැම්පු බෝතලේ දිනිතය අරන්නේ.. මම මේ තව වැඩකුත් තිබ්බ හංදියෙ එකටත් ගිහින් එන ගමන් අලුතින්ම ෂැම්පු බෝතලයක් අරන්ම ආව"

හංදිය මතක් වෙත්ම උපාලිගේ තට්ටම ගිගුම් දෙන්නට වූයේ සුවිටීගේ දන්ත රාජ හතරෙන් ස්ථාපනය කරන ලද මතක සිදුරු හතර මෙනෙහි වීම නිසාවෙනි.

"ආනේ..පව් ඔයා"

මදූ ඇඹරෙමින් ශෝකප්‍රකාෂය සිදුකලේ ඉදිරියේදී තවත් උදව් ගතහැකි ගොන් නාම්බෙක් අසුවූයේයැයි සිතට දැනුන ජයග්‍රහී සතුටත් සමගය.

"ඕක මොකද්ද... මෙන්න නංගි ෂැම්පු බෝතලේ"

උපාලි දවසේ ඉලක්කය නිම කලාක්සේ ෂැම්පු බෝතලය දුන්නේ වසා තිබූ ගේට්ටුවට උඩිනි. බෝතලය අතට ගත් මදූ තමන්ට කෙසේ හෝ ෂැම්පු බෝතලයක් ලැබීමේ සතුට සිතේ තිබුනත් එය නොපෙන්වා ටිකක් ගනන් ඉස්සීමෙන් උපාලිව තවත් තමන් පසුපස ගෙන්නාගත හැකි බව සිතිනි.

"අනේ අයිය මේක මම ගාන බ්‍රෑන්ඩ් එක නෙමේනෙ.... මේක චයිනීස් බ්‍රෑන්ඩ් එකක්"

නොරොක් උන මුහුනින් මදූ කල ප්‍රකාශයෙන් උපාලිට යක්ෂාවේශවූයේ මේ ෂැම්පු බඩ කඩිත්තුව නිසා තමන්ට මුහුන පෑමට වූ අකරතැබ්බ එකින් එක පෝලිමට මතක් වීම නිසාය.

"අනේ මේ නංගි .... උඹට මේ මනුස්සකමට ගෙනත් දුන්නෙ ඕක ගාන්න බැරිනම් කාපන්... එනව මෙතන නිකන් දුන්න අස්සයගෙ දත් ගනින්න"

කියමින් යක්ෂාවේශවූ උපාලි පස්සවත් නොබලා ගියේ අයනම් කිසිදිනක මේ සක්කරවට්ටම් වලට නැවෙන්නේ නැති බවට සිතින් දිවුරමිනි.

මදූට පැනි හලාන පැමිනි කොල්ලන් අතර කිසිදාක කොල්ලෙක් මෙලෙස කතාකර නැතිහෙයින් මදූ තුෂ්නිම්බූතව බලාසිටියේ උපාලි යන ගමන් මග දෙස සිදු වූ දෙය සිතාගත නොහැකිවය.

ඇදිරිනීතිය ඉවත්කර රට යතා තත්වයට පත්වූ පසු රැකියාව ආරම්භකළ උපාලි මදූ දුටු තැන අහක බලා ගියේ තඹ සතේකට මායිම් නොකරය.

තමන්ට හමුවූ කොල්ලන් අතර මෙලෙස තදින් කතාල, තමාව ගනන් නොගත්ත කොල්ලෙක් කවදාවත් හමු වී තිබූ නැතිහෙයින් මේ අමුතු හාදයා පිලිබඳව මදූගේ හිතේ ආදර හැගීමක් ලියලා එනබව ඇයට දැනුනි. තමන්ව අන්දමින් ඕනා එපාකම් ඉෂ්ටකර ගැනීමට තැත්කළ මදූ දෙස උපාලිනම් කවදාවත් නැවත ඇස් කොනකින්වත් නොබැලුවේ මදූ දුටු සැනින් තාමාට උන අකරතැබ්බද නොසලකා මදූ දුන්න පොර ටෝක්ස් සිහි වීම නිසාවෙනි. ඉතින් මදූට තම හැගීම හිතයට සිරකරන් සිටීම හැර වෙන කළහැකි කිසිත් නොවීය.

----------නිමි----------

(සැ.යු: මෙහි එන නම් ගම් සියල්ල මනංකල්පිත වන අතර හුදෙක් විනෝදය සඳාහා පමනක් ලියන ලදී)

රචනය: සරත් මහින්ද විජ්රත්න 

Comments

My Posts

කතාකරන පාලම.✍️✍️✍️

කුවීන්ස් උද්‍යානයේ අභිරහස් මරණය.✍️✍️🧐